Sunday, 17 May 2020

C.T. ප්‍රනාන්දු හෙවත් ලාංකීය ජනප්‍රිය ගීතයේ පූර්වජයා

     

      චිත්‍රයක් රසවිඳීමට නම් මූලිකව අප වර්ණ, රේඛා සහ සංයෝජනය පිලිබඳ දැන සිටිය යුතුය. කවියක් රස විඳීමට නම් එහි ව්‍යාකරණය, රූපක සහ අනෙකුත් ශානරයන් පිලිබඳ අවබෝධයකින් සිටිය යුතු වනවා මෙන්ම අනෙකුත් මාධ්‍ය පිළිබඳවද මේ ක්‍රමවේදය මෙසේම වෙයි. සංගීත නිර්මාණයක් අප කියවන්නේ කෙසේද? C.T.  ගේ ගීත වල සංගීත ආකෘතිය කෙබඳුද? C.T.  කවර ගණයේ තනු රචකයෙක්ද? සහ ඔහුගේ කටහහඬේ ඇති තානිය ගුණය කුමක්ද?

      C.T. ප්‍රනාන්දු ගේ ගීත ශෛලිය ලාංකීය සංගීත ක්ෂේත්‍රයෙහි ස්ථානගත වන්නේ කුමන පදනමකින්දැයි සොයා බැලීම අත්‍යවශ්‍ය කරුණක් සේ හඟිමි. ඔහු තම මුද්‍රාව නැතහොත් අනන්‍යතාවය තම ගීත සම්ප්‍රදායෙහි ස්ථාපනය කරන්නේ, එදිනෙදා ජීවිතය ආශ්‍රිතව පබැඳුම් සඳහා ඉතා සරළ තනු යොදා ගැයීමෙන් යැයි මුඛ්‍ය ලෙස සටහන් කළ යුතුය. විශේෂයෙන්ම මෙම සරල බව නිසාම සංගීතය හැදෑරූ සහ නොහැදෑරූ යන දෙපාර්ශවයම මෙම ගීත මානසික විශ්‍රාන්තිය සඳහා ගයනු ලබයි.

  C.T. ගේ ගීත ජනාදරයට පාත්‍ර වීමට ප්‍රධාන හේතුවක් වූයේ එහි වූ සරල පදමාලාව හා මධුර සංගීත සංයෝජනය යි. C.T.  තම ගීත සඳහා වස්තු විෂයය කොට ගත්තේ සරළ ජිවන අනුභූතින්ය. ‘කිම ද සුමිහිරියේ’, ‘ආනෙ ඩිංගක් ඉන්න කෝ’, ‘බේරෙන පැණි බිඳු’, ‘ලෝ අඩ නින්දේ’, ‘දවස ගෙවී දැන් ටික ටික’, ‘කැලෑ මල නො වේ’, ‘සරුංගලේ සරුංගලේ’, ‘මා බාල කාලේ’, ‘රෑ පැල් රැකලා’, ‘අපි ඇවිදිමු හඳ පානේ’ ආදී ගී මේ සඳහා නිදසුන් ලෙස දැක්විය හැක. ‘සමන් කැකුළු අතුරලා’ ගීතය සී. ටී. ගැයුවේ සිය භාර්යාව වූ ධනවතී වෙනුවෙනි. ‘බිළිඳා නැළැවේ’ ගීය ඔහු ගැයුවේ ඔහු ගේ එක ම පුතු වූ ප්‍රියන්ත වෙනුවෙනි. ‘මගෙ සුදු මාමේ’ යන ගීය ගැයුවේ රා මදින්නකු ගැන ය; ‘බරබාගේ’ ගීයෙන් ගැයුවේ ගැල්කරුවකු ගැන ය, ‘එළවළු පලා කියා’ ගීයෙන් ගැයුවේ එළවළු වෙළෙන්දියක ගැන ය. මේ ගී තුන ම බටහිර සංගීතය මුසු නිර්මාණ වුව ද ඇරැඹෙන්නේ දේශීය ජන සංගීතයේ සීපද ගායනාවලින් අභාසය ලැබීමද විශේෂත්වයෙකි. (SLBC ගී Presentation, ගනුෂ්ක රන්දුල 2015)

සී. ටී. ගේ සංගීත ආකෘතිය

  පණ්ඩිත් අමරදේවයන් ලාංකීය ගීතය ‘ජන, ජනප්‍රිය සහ සුසාධිත’ යනුවෙන් වර්ගීකරණය කර දක්වයි. එම වර්ගීකරණයට අනුව සී.ටී. ප්‍රනාන්දු අයත් වන්නේ ‘ජනප්‍රිය’ යන ගී වර්ගයට අයත් ගායකයෙකු ලෙස හැඳින්විය හැක. ‘ජන’ යනු ගැමි ගී නැතහොත් ජන ගී හැඳින්විය හැක. මේ ගණයට සේ ගී, කමත් ගී, ශාන්තිකර්ම ගී, වැලපුම් ගී, ජන නාට්‍ය ගී, වැදි ගී, නෙළුම් කවි, වන්නම් කවි, රබන් කවි, ගොයම් කවි, ලී කෙළි ගී, පැල් කවි ආදිය ගිණිය හැක. ජන ගීත ද ජනතාව අතර ජනප්‍රිය වූ නමුත්, ජනප්‍රිය ගී ගණයට අයත් ගී තරම් ජන ගී ජනප්‍රිය භාවයෙන් හීනය. ජනප්‍රිය ගීත ගණයට සී.ටී. ප්‍රනාන්දු ගැයූ වර්ගයට අයත් ලාංකීය ගීත ක්ෂේත්‍රයේ බොහෝ ගායක ගායිකාවන්ගේ ගීත ඇතුළත් වේ. ජනප්‍රිය ගීතයේ මූලික ලක්ෂණය වන්නේ එම ගීතයන්හි රිද්මීය භාවයත්, ආකර්ශනීය තනු නිර්මාණයත්, විශේෂයෙන් බොහෝ දෙනෙකුට ක්ෂණයෙන් මතක තබා ගැනීමට සහ ගායනා කිරීමට පහසු වීමත්ය. සුසාධිත යනු භාෂාමය සහ සංගීතමය ලක්ෂණයන්ගෙන් අනූන ශාස්ත්‍රීය මට්ටමේ ගීත වේ. බොහෝ සෙයින් පණ්ඩිත් අමරදේව, ආචාර්ය නන්දා මාලිනි, වික්ටර් රත්නායක ඇතුළු ගායක ගායිකාවන්ගේ ගීත මේ ගණයට වැටේ. මෙහිදී මූලිකව මෙම ගීත වල ලයමානය භාවිතය අඩු ලයක් වන අතර එම ගීතවල සංගීත භාණ්ඩ භාවිතයද එක්තරා අන්දමකට අවමවාදී (minimalist)  ලක්ෂණයක් උසුලයි.

  එසේම මෙම ගීත වල  මූලික ලක්ෂණයක් ලෙස ගීතය ස්ථායි , අන්තරා - 1 සහ අන්තරා -2  ආකාරයට පද දෙකක් හෝ වැඩි ගණනක් පුනරාවර්තනය කරන ලබයි. මෙහි විශේෂිතම ලක්ෂණයක් වන්නේ පුනරුච්චාරණයයි. පහත දැක්වෙන ආකාරයට ගීතය පුනරුච්චාරිත ස්වරූපයෙන් ආකෘතික වේ,
  1. මුල් සංගීතය 
  2. ස්ථායි
  3. අනු සංගීතය 
  4. අන්තරා කොටස -1 
  5. ස්ථායි කොටස 
  6. අනු සංගීත කොටස 
  7. අන්තරා කොටස - 2   
  8. ස්ථායි කොටස 
     මෙහි බටහිර ස්වරූපය (verse-chorus-ABA form)  ගීත ආකෘතිය වේ. මෙහිදී A සහ B යනු (Theme) හෙවත් ‘තේමා’ ලෙස දැක්වේ.

(Theme) ආකෘතිය හෙවත් ABA form
A තේමාව (verse)
B තේමාව (chorus)
A තේමාව (verse)
ජනප්‍රිය ගීත සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ගීත ආකෘතිවලින් එකක් හෝ අනුගමනය කරයි. ඉතා ජනප්‍රිය (verse-chorus- ABA form) ආකෘතිය බොහෝ ගීත සඳහා අනුගමනය කරයි. මෙම ආකෘතිය පුනරාවර්තන කොටස් දෙකක් වටා ගොඩනගා ඇති ගීත රචනා ව්‍යුහයකි. 1960 දශකයේ සිට නූතන ජනප්‍රිය සංගීතය සඳහා තෝරා ගැනීමේ ගීත රචනා ආකෘතිය වූයේ ABA ආකෘතියයි. එය බොහෝ විට ආදර ගීත, පොප්, country, රැප් සහ රොක් සංගීතය සඳහා භාවිතා වේ. දහනව වන ශතවර්ෂයේ මැද භාගයේ සිට ්ඊ් ගීත ආකෘතිය පැවතුනද, සම්භාව්‍ය රොක් යුගයේ සිට වඩාත් ජනප්‍රිය ගීත ලියා ඇත්තේ ABA ගීත ආකෘතිය අනුවය. Verse කොටස හෝ A කොටස ගීතයක පදය සාමාන්‍යයෙන් පුනරාවර්තන කොටසකි. සාමාන්‍යයෙන් ස්වර ඛණ්ඩ 16 ක් හෝ 32 ක් දිග - එය ගීතයේ ප්‍රධාන අංගය වේ. පද රචනා කරන සංගීතයේ, පදය බොහෝ විට “කතාව” පවසයි. Chorus කොටස සාමාන්‍යයෙන් පුනරාවර්තනය වන අතර පදයට සාපේක්ෂව දිග වේ. එය පදයේ අන්තර්ගතයට හාත්පසින්ම වෙනස් වන අතර සාමාන්‍යයෙන් ගීතයේ ‘සම්බන්ධීකාරකයක්’ ලෙසට ක්‍රියා කරයි. එසේම එය මූලික සංගීතමය අදහසක් ('motif' - musical idea) ලෙස  ශ්‍රාවකයාගේ මනසෙහි රැඳී සිටීමට සමත් වෙයි. සී. ටී. ගේ ගීතය ABA ආකෘතිය අනුව මෙසේ බෙදා දැක්විය හැක.

A තේමාව (verse)
මී වදයකි ජීවිතේ - මී පැණි පිරිලා ඇතේ
මත් වීලා ගුම් ගුම්  නද දීලා - සැනසෙමු අපි හිතුමතේ
මලින් මලට පියඹමු - තුඩින් තුඩටා රොන් ගමූ
ලියන් තමා රස ඉතිරෙන මල් වැල්  - ඔවුන් සොයාගෙන යමූ

B තේමාව (chorus)
හිරු නාවාදෙන්  - සඳ ගිලුනාදෙන්
ඉන්නා ටික කාලේදී - රසට රසක් දී මිහිරට එක්වී
අපිවෙමු මීමැසි පොදී - මීමැස්සෝ ඔබයි මමයි - මීමැස්සියෝ ලඳුන් තමයි

  මෙහිදී සැළකිල්ලට ගත යුත්තේ ලාංකීය භාවික සංගීතයේදී verse සහ chorus යන කොටස් දෙක හඳුන්වනු ලබන්නේ chorus සහ verse වශයෙනි. මේ ආකාරයට සී. ටී. ගේ හැම ගීතයකම පාහේ ගීත ආකෘතිය මෙසේ වේ. මෙය C.T. ගේ ගීතයන්හි පමණක්ම නොව අද දක්වා නිර්මාණය වන සෑම ගීතයකම පාහේ දක්නට ලැබෙන ලක්ෂණයකි. මෙහිදී ඉතා පැහැදිලිව සඳහන් කළ යුතු කරුණ වන්නේ ලාංකීය භාවික සංගීතයේදී යොදා ගන්නා ස්වර ප්‍රස්ථාරය පවතින්නේ ඉතාම ප්‍රාථමික තත්වයක බවයි. බටහිර සංගීතයේ අභාසය ඉතා අවම මට්ටමකින් නිර්මාණාත්මක පක්ෂයෙන් ලැබුවත් එහි තාක්ෂණික පක්ෂය තවමත් නොදියුණු තත්වයක පවතින බවයි. ස්වර ප්‍රස්තාරකරණය ඉහළ මට්ටමකින් පවතින්නේ නම් එය එක්තරා අන්දමකට දියුණු සංගීත සම්ප්‍රදායක ලක්ෂණයක් බව බටහිර සංගීත සම්ප්‍රදාය දෙස බලන කළ පැහැදිලිව විද්‍යමාන වන ලක්ෂණයකි.

රුක්මණී දේවී සහ C.T. ප්‍රනාන්දු


C.T. ප්‍රනාන්දු සහ ලතා වල්පොල 

සී. ටී. කවර ගණයේ තනු රචකයෙක්ද?

     බටහිර සංගීතයේදී සංගීත නිර්මාණයන්හි ස්වාභාවයන්ට අනුව සංගීත නිර්මාණකරුවන් මෙසේ වර්ගකිරීමකට ලක් කරනු ලැබෙයි.
  1. තානිය (Tonal)
  2. නිතානිය (Atonal)
  3. තාලත්මක (Temporal)
  4. ගතික (Dynamic)
යනුවෙන් වේ. තානිය (Tonal) යනු සමස්ත නිර්මාණයම එක් ශ්‍රුතියක පිහිටා නිර්මාණය වීමයි. ලෝකයේ ජන හා කලා සංගීතයේ විශාල කොටස ටෝනල් ලෙස වර්ග කළ හැකිය. සරළ සංගීත ආකෘතියක පිහිටීමද මෙහි විශේෂ ලක්ෂණයක් සේ සැලකිය හැක. විශේෂයෙන් බටහිර සංධ්වනි සංගීත නිර්මාණයන්හි මෙවැනි ආකාරයේ සංගීත භාවිතාවන් දැකිය හැක. ශ්‍රී ලාංකීය සංගීතයේද සුනිල් සාන්ත, පණ්ඩිත් අමරදේවයන් දැක්විය හැක. මෙහිදී බොහෝවිට ඔවුහු තම නිර්මාණ සඳහා ඒකීය නාදරටාවක් ගායනය සඳහා භාවිත කරනු ලබයි. සමස්තයක් ලෙස ගත්කළ සිංහල ගීත ක්ෂේත්‍රයේ සියළුම ගීත පාහේ මෙම ආකෘතියට අනුව නිර්මාණය කර ඇත.

      නිතානිය (Atonal) යනු පැහැදිලි තානිය මධ්‍යස්ථානයක් නොමැති සංගීතයකි. මෙහිදී එක් ගීතය හෝ සංගීත කෘතිය එක් ශ්‍රුති ස්වරයක නොපිහිටා විවිධ ශ්‍රුති කරා ගමන් කරනු ලැබෙයි. බටහිර සංගීතයෙහි අර්නෝල්ඞ් ශෝන්බර්ග් මේ ගණයේ සංගීතඥයෙකි.

         අර්නෝල්ඩ් ශෝන්බර්ග් Piano Concerto, Op. 42
       
තාලත්මක (Temporal) යනු ලය නැතහොත් වේගය ප්‍රමුඛ කොටගත් සංගීත නිර්මාණයන්ය. මෙහිදී ලයමානය අඩු හෝ වැඩි විය හැකිය. ඉන්දියානු සංගීතයේදී මූලිකව විලම්භ, මාධ්‍ය සහ දෘත (වේගවත්) යනුවෙන් ත්‍රිවිධාකාර ලෙස ලය වර්ග කරති. බටහිර සංගීතයේ ද ලය ඉතා සංකීර්ණ වූ වර්ගීකරණයක් ලෙස දැක්විය හැකිය.
  • Larghissimo – very, very slow (24 bpm and under)
  • Adagissimo – very slowly
  • Grave – very slow (25–45 bpm)
  • Largo – broadly (40–60 bpm)
  • Lento – slowly (45–60 bpm)
  • Larghetto – rather broadly (60–66 bpm)
  • Adagio – slowly with great expression (66–76 bpm)
  • Adagietto – slower than andante (72–76 bpm) or slightly faster than adagio (70–80 bpm)
  • Andante – at a walking pace (76–108 bpm)
  • Andantino – slightly faster than andante  (80–108 bpm)
  • Marcia moderato – moderately, in the manner of a march (83–85 bpm)
  • Andante moderato – between andante and moderato (thus the name) (92–98 bpm)
  • Moderato – at a moderate speed (98–112 bpm)
  • Allegretto – moderately fast (102–110 bpm)
  • Allegro moderato – close to, but not quite allegro (116–120 bpm)
  • Allegro – fast, quickly, and bright (120–156 bpm) 
  • Vivace – lively and fast (156–176 bpm)
  • Vivacissimo – very fast and lively (172–176 bpm)
  • Allegrissimo or Allegro vivace – very fast (172–176 bpm)
  • Presto – very, very fast (168–200 bpm)
  • Prestissimo – even faster than presto (200 bpm and over)

     මෙහි දී C.T. ගේ ගීත මෙම තාලත්මක ආකෘතිය අනුව නිර්මාණය වූ ගීත ලෙස දැක්විය හැක. බයිලා නම් ගීත වර්ගය සඳහා පදනම් වන (6/8) තාල රූපයෙහි මධ්‍යලයෙන් ගයන C.T. ගේ ගී තනු බයිලා හි තරම් වේගයක් ගීතයෙන් ප්‍රකට නොකරන අතර ධනාත්මක මානසික විශ්‍රාන්ති සුවයක් කරා ශ්‍රාවකයා සහ ගායකයා යන දෙපාර්ශවයම රැගෙන යනු ලබයි. වර්තමානය දක්වා C.T.  ගේ ගීත විවිධ පරම්පරාවන් ඉක්මාව නොනැසීමේ රහස මෙයැයි ද අනුමාන කළ හැක.

     ගතික (dynamic) යනු සංගීතයෙහි ඉතා සියුම් තැන් කරා තම ස්වර සංගතීන් විහිදුවන්නාවූ සංගීත නිර්මාණ වේ. උදාහරණ ලෙස බටහිර සංගීතයේ pp (pianissimo) “මෘදු” සහ ppp (pianississimo) “ඉතා මෘදු” වැනි තත්වයන් දක්වා සංගීත නිර්මාණය ගෙන යාමයි. ලාංකීය සන්දර්භයෙහි ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ‘ගතික’ යන වර්ගයෙහි සංගීත නිර්මාපකයෙකු ලෙස දැක්විය හැක.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

එමෙන්ම පණ්ඩිත් අමරදේවයන්ගේ ඇතැම් ගීතයන්හි ද මෙම නිර්මාණ භාවිතය දක්නට හැක.

     C.T.  බටහිර ගීයේ අභාසය සහ අනුප්‍රාණය නොමඳව තම සංගීතය සඳහා ලබයි. විශේෂයෙන් “සැළලිහිණි කොවුල්” ගීතය සඳහා 'There is a Tavern in the Town' නම් වූ ගීතයේ හඬ අභාසය තිබෙන බව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වරක් පෙන්වා දී තිබෙනවා (“අභිනව මූලික ගීත” ඩබ්ලිව්. බී. මකුලොලුව -1970 පි. සස). යනීනා නම් පෝලන්ත ගායිකාව (70) දසකයේ දී තැටිගත කළ ගීයක ආභාසයක් C.T.  ගේ “බේරෙන පැණි බිඳු රතු මී වද බඳු” ගීයේ තනුවෙන් පිළිබිඹු වන බව මහාචාර්ය සුනිල් ආරියරත්න දක්වයි. එ මෙන් ම C.T.  ගේ “සීගිරි සුකුමාලියේ” ගීය බොසානෝවා රිද්මයෙන් (Bossonova) ලංකාවේ බිහි වූ පළමු ගීය ලෙස සැලැකේ. ඔහු ගේ “රන්වන් රන් කෙඳි පීරලා” ගීය සිංහල ගීත සාහිත්‍යයේ මුල් ම රොක් ඇන් රෝල් (Rock & Roll) ගීතයකි. එ මතු නො ව, C.T. ගේ ගීතවලින් ස්පාඤ්ඤ ගීත සම්ප්‍රදායයේ පැහැදිලි ආභාසයක් දැකිය හැකි බව BBC මාධ්‍යවේදී ජෝන් මයර්ස් (John & Myers) සඳහන් කර තිබේ. C.T. ගේ ගී තනු ඔහු විසින් ම නිර්මාණය කරන ලද අතර ඒවායේ බටහිර ගීත වල සේයාව ප්‍රබලව පෙනෙන්ට වීය. මුල් දශකයේ ඔහු ගැයූ ගීවල සංගීත සංයෝජනය කෙළේ බී. ඇස්. පෙරේරා වූ අතර සංගීත අධ්‍යක්ෂ පැට්රික් දෙනිපිටිය නොබෝ කලෙකින් ම ඔහු ගේ තනු සඳහා සංගීත සංයෝජනයෙන් දායක විය. C.T. - පැට්රික් සුසංයෝගයෙන් බිහි වූයේ ඉන් පෙර සිංහල ගී රසිකයාට අසන්නට නො ලැබුණු ආකාරයේ බටහිර ඌරුවක් ඇති ගීත විය. එවක සිංහල ගීත ක්‍ෂේත්‍රය තුළ අනුකාරක ගී ප්‍රබල ලෙස පැතිරෙමින් තිබුන නමුත් C.T. බටහිර ගී තනුවලට වචන යොදා ගැයිමෙන් වැලකී සිටීම විශේෂ ලක්ෂණයක් ලෙස සඳහන් කළ යුතුය. 

     C.T. ගේ ගීත නිර්මාණ විධීන්හි බටහිර සංගීතයේ නිර්මාණ ක්‍රමවේදයන් දකින්නට තිබේ. ලතා වල්පොළ ඇතුළු පිරිසක් සමඟ ඔහු ගැයූ ජනප්‍රිය කිතු බැති ගීයක් වන “රෑ තරු බබළනවා” ගීයෙහි හඬ ප්‍රතිරාවය හා අතිච්ඡාදනය (Echoing and Overlapping) නම් බටහිර ගායනක්‍රමවේදයන් භාවිත කරනු ලබයි. එමෙන් ම යුග ගීයක් නො වන “අපි ඇවිදිමු හඳ පානේ” ගීයෙහි අන්තරා සංගීත කණ්ඩයෙහි (interlude) පමණක් කාන්තා හඬක් සුසංගතිය (harmony) හා ගුමනය (humming) යොදා ගනී.

C.T. ගේ කටහඬ

C.T. ගේ ගායනය අනෙකුත් සිංහල ගායක ගායිකාවන්ගෙන් වෙනස් වන්නේ කොතැනින්ද? නාවලපිටියේ ශාන්ත මේරි දේවස්ථානයේ කන්තාරු ගැයීමෙන් ගායනයෙහි බුහුටිකම් ලත් C.T. ගේ සවන්හි ලැගුම් ගෙන තුබුණේ බටහිර නාද රටා ය. එ බැවින් ඔහු ගේ තනු රචනාවලින් දේශීය නාද මාලා අපේක්‍ෂා කරනු උගහට ය. C.T. ගේ නිර්මාණවලින් දක්නට ලැබුණේ බටහිර ජනප්‍රිය ගීත ආකෘතින්හි ආභාසය යි. C.T. ගේ ගීතවලට හා ඉදිරිපත් කිරීමේ ශෛලියට නැතානියල් ඇඩම්ස් කෝල් හෙවත් නැට් කිං කෝල් නම් ඉංගිරිසි ගායකයා ගේ ආභාසය ලැබී ඇති බව නදීක ගුරුගේ පෙන්වාදෙයි. නැතානියල් ඇඩම්ස් කෝල් වූ කලී අතිමන්ද්‍ර ස්වර පරාසයෙහි  ගායනය කළ අයෙකු ලෙස සැළකේ. 'නැට් කිං කෝල්' ඉතා මටසිළුටු දියර මෙන්ය, සන්සුන්ය, සැහැල්ලුවෙන් කට හඬ මෙහෙයවයි. C.T. ගේ කටහඬ සතුවද මෙම ගුණය අඩංගු විය. ඉතා පැහැදිලි හඬක් ඔහු සතු විය. ඔහුගේ වචන උච්චාරණය ඉතා පැහැදිලි විය. බටහිර සංගීතයෙහි ගායකයා තම ගායනය ප්‍රාසංගිකව ඉදිරිපත් කළ යුතු අතර ඒ සඳහා තම ශරීරය සහ මනස පවත්වාගැනීම සම්බන්ධයෙන් විශාල අවධානයක් ඔවුහු යොමු කරයි. තමන් ගායනය අසවාදනය කරන්නාසේම එය අසන්නා වෙත ප්‍රසාංගිකව ඉදිරිපත් කළ යුතු විය. මෙම ගුණය සී. ටී. ගේ කටහඬ සතු විය. මෙම ගුණය ඔහුට පුරුදු පුහුණු වූයේ ඔහු සම්බන්ධ වූ හෝටල් ක්ෂේත්‍රයේ ගායනා සමඟය.

       C.T. ගේ ගායනයට වසඟ වූයේ මෙ රට රසිකයන් පමණක් නො වේ. ඉහත කී අගනුවර සුපිරි හෝටල් සහ ‘කැංඩි ලේක් ක්ලබ්’(Kandy Lake Club) කේන්ද්‍ර කොට ගෙන C.T. හට ඉංග්‍රීසි ජාතික රසික පර්ෂදයක් ද බිහි විණි. 1967 - 1968 සමයයෙහි ‘ලකී සෙවන්’ දුම්වැටි සමාගමයේ අනුග්‍රහයෙන් ගුවන් විදිලියේ ඉංග්‍රීසි සේවයේ විකාශය වූ ‘ලකී සෙවන් ෂෝ’ (Lucky Seven Show) නම් සංගීත වැඩසටහනට C.T. ගේ සිංහල ගීත ඇතුළත් වූයේ ඒ වන විට ඔහුට එතරම් ඉංග්‍රීසි භාෂක රසිකයන් සිටි බැවිනි. ඉංගිරිසි ජාතිකයන් C.T. ගේ මනමෝහනීය හඬට කොතරම් වසඟ වූවා ද යත් C.T. හඬට ඇලුම් කළ මැඩම් ඩෙල්ගාඩෝ නම් යුරෝපීය ඔපෙරා ගායිකාව 1969 දී ඔහුට ලංඩනයේ ප්‍රසංගයක් පැවැත්වීම සඳහා ආරාධනා කළේය. ඒ අනුව විදේශයෙක සංගීත ප්‍රසංගයක් පැවැත්වූ මුල් ම ශ්‍රී ලාංකික ගායකයා වූයේ C.T. ය. 1969 ජූනි (24) වැනි දා ලංඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩල ශාලාවේ දී යුරෝපීයයන් වෙනුවෙන් සිංහල ගීත ගැයූ C.T. ප්‍රනාන්දු “රන් හඬ” (The Golden Voice) සම්මානයෙන් ද පිදුම් ලැබී ය. පසු දා C.T. හා පැට්රික් දෙනිපිටිය බී. බී. සී. ගුවන් විදිලි සේවයේ සජීව සම්මුඛ සාකච්ඡාවකට ද සහභාගී වූහ. එදා පිළිසඳර මෙහෙයැවූයේ එවක ‘බී. බී. සී. සන්දේශයේ’ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයෝය. (SLBC ගී Presentation, ගනුෂ්ක රන්දුල 2015)

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, පැට්‍රික් දෙනිපිටිය සහ C.T. ප්‍රනාන්දු BBC මැදිරියේ 
 
උතුරු ඉන්දීය සංගීත අභාසය අනුව ස්වර අභ්‍යාසයන්හි නිරතවූ බොහෝ සිංහල ගායක ගායිකාවන්ගේ කට හඬෙහි ඇත්තේ උතුරු ඉන්දීය ගායන විධීන් වන මින්ඞ්, ගමක් සහ මුර්කි යන විධීන් අනුව ස්වර සම්බන්ධීකරණය කරනු ලබයි. නමුදු  C.T. ගේ ගායනයන්හි මෙම ලක්ෂණ දක්නට නොලැබේ.  C.T. තම ගායනය නිරන්තරයෙන් ප්‍රාසංගිකව ඉදිරිපත් කිරීමම ඔහුගේ කට හඬෙහි ඇති සජීවී ගුණයේ රහස බව මගේ හැඟීමයි. ඒ වූ කලි ඔහුගේ ගීත ඉතා මැනවින් ශ්‍රවණය කරන කල්හී වැටහෙන්නකි. නමුදු උතුරු ඉන්දීය සංගීත අභාසය අනුව ස්වර අභ්‍යාසයන්හි නිරතවූ බොහෝ සිංහල ගායක ගායිකාවන්ගේ කට හඬෙහි ඇත්තේ උතුරු ඉන්දීය ගායන විධීන් වන මීන්ඞ්, ගමක් සහ මුර්කි යන ගායන විධීන් අනුව ස්වර සම්බන්ධීකරණය කරනු ලබයි. නමුදු  C.T. ගේ ගායනයන්හි මෙම ලක්ෂණ දක්නට නොලැබේ. බටහිර ගායන විධීන් සහ උතුරු ඉන්දීය සංගීතය ප්‍රගුණ කළ ගායකයාගේ පැහැදිලිම වෙනස වන්නේ ඔවුහු ස්වර අතර සංක්‍රමණය වන ස්වභාවයයි. බටහිර ගායනයෙහි කටහඬ පිළිබඳව වර්ගීකරණයක් සහ ගායකයාගේ කටහඬ පරාසය හඳුනා ගැනීම, හඬෙහි ගැඹුර, තාරතාවය වැනි නොයෙකුත් හඬ උත්පාදනයට අදාළ කොටස් පිලිබඳ අවධානය යොමු කරනු ලබයි.  C.T. තම ගායනය පිලිබඳ අත්පොත් තබන්නේ පල්ලිය ආශ්‍රිත පුහුණුව හරහා වූ බැවින් එම බටහිර ගායන හැඩතල තමන්ගේ කටහඬ සඳහා ආරෝපණය වීම ඔහුගේ ගායනයෙහි තිබූ විශේෂ ලක්ෂණයක් වෙයි.

 C.T. හඬ ඉතා පැහැදිලිය. එසේම නිවැරදි ශ්‍රැති ස්ථානයන්හි පිහිටා ගයයි. මේ ලක්ෂණයන් දෙකම බටහිර ගායක නැට් කිං කෝල් වැනි ගායකයින්ගේ ගායන විලාසයේ තිබූ විලාසයන් වේ. පසු කලෙක සුනිල් සාන්තයන්ගේ ගී ගැයුමෙහි ද මෙම ඉතා පැහැදිලි සහ ශ්‍රුති මත පිහිටවූ ගායන විලාසය දක්නට ලැබීම විශේෂ ලක්ෂණයකි. සුනිල් සාන්තයන්ගේ ගායන විලාසයෙන්  C.T. ගේ හඬ වෙනස් වන්නේ, කටහඬේ  ඇති තානිය ස්වරූපය හෙවත් තාරතාවය අනුවය. සුනිල් සාන්තයන්ගේ ගායනාවෙහි ඔහු බොහෝ විට ස්වර එකිනෙකට සම්බන්ධ කර ගයනු ලබයි. මෙය උතුරු ඉන්දීය සංගීත සම්ප්‍රදායේ මීන්ඞ් ගායන විලාසයට සමානකම් දක්වයි. නමුදු  C.T. ගේ ගායනාවෙහි කිසිසේත් මෙම ලක්ෂණය දක්නට නොලැබේ. බොහෝ සෙයින් ඍජු ස්වරයන්හි ඔහුගේ හඬ පිහිටුවයි. මෙය C.T. ගේ ගායනාවට බටහිර සංගීත සම්ප්‍රදායේ අභාසය ලැබීම ප්‍රකට කරවයි.


    C.T. ගේ ගායන විලාසය සහ සංගීත ආකෘතිය අනුව ගමන් කළ ‘ලොස් කැබරලොස්’ නම් කැලිප්සෝ සංගීත කණ්ඩායමේ නායකයා වූ නෙවිල් ප්‍රනාන්දු ද ඇතුළුව නමුත් ක්‍රිස්ටෝපර් පෝල්, සී. ඩී. ෆොන්සේකා (ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිලා), කාන්ති වක්වැල්ල (දුර පෙනෙන තැනිතලා), සිඞ්නි ආටිගල (පැලේ වසන රන්මලී), රෝහිත ජයසිංහ (සෝබන සැන්දෑවේ සීතල මඳ පවනේ) යන ශිල්පීන් දැක්විය හැක. මේ අනුව C.T. හුදු සරල ගීත ගායනය කල ගායකයකු ලෙස ලඝු කළ හැකි නොවේ. ඔහු සිංහල සරළ සංගීත සම්ප්‍රදායේ යුග කාරක පුරුෂයෙකි.

- තරුපති මුණසිංහ

-------------
1. අවම (minimalist) සංගීතය යනු සීමිත හෝ අවම සංගීත ද්‍රව්‍ය භාවිතා කරන කලා සංගීතයකි. ‘අවම’ යන වචනය ප්‍රථම වරට සංගීතයට අදාළව 1968 දී මයිකල් නයිමන් විසින් භාවිතා කරන ලදී. බටහිර කලා සංගීත සම්ප්‍රදායට අනුව, ඇමරිකානු නිර්මාපකයින් වන ලා මොන්ටේ යන්ග්, ටෙරී රයිලි, ස්ටීව් රීච් සහ පිලිප් ග්ලාස් අවම ප්‍රවේශයක් උපයෝගී කර ගනිමින් සංයුති ශිල්පීය ක්‍රම දියුණු කළ ප්‍රථමයා ලෙස සැලකේ. ‘ස්ථායි’ සහ ‘අන්තරා’ යනු උත්තර භාරතීය සංගීතයේ භාවිතා වන්නකි. ඩබ්. ඩී. මකුලොළුව විසින් මෙම ගීත කොටස් ‘මුල් ගැයි’ සහ ‘අනු ගැයි’ යනුවෙනුත් සංගීත කොටස් ‘මුල් වැයි’ සහ ‘අනු වැයි’ යනුවෙනුත් හැඳින්වීය.

2. මෙම ආකෘතියට අනුව නිර්මාණය වුණු බටහිර ගීත ලෙස, "Foxy Lady" (Jimi Hendrix, 1967), "Get Back" (Beatles, 1969), "Proud Mary" (Creedence Clearwater Revival, 1969, written by John Fogerty), "Superstition" (Stevie Wonder, 1972), "Candle In The Wind" (Elton John, 1973, written by Elton John and Bernie Taupin), "Sweet Home Alabama" (Lynyrd Skynyrd, 1974), "Hotel California" (Eagles, 1977, by Don Felder, Don Henley, and Glenn Frey), "Don’t Stop" (Fleetwood Mac, 1977, written by Christine McVie), "Every Little Thing She Does is Magic" (The Police, 1981, written by Sting), "I Wanna Dance With Somebody" (Whitney Houston, 1987, written by George Merrill and Shannon Rubicam), "Oops, I Did It Again" (Britney Spears, 2000, written by Max Martin and Rami Yacoub), "Run" (Snow Patrol, 2004), "Somebody That I Used To Know" (Gotye, 2011).


3. Baritone යනු දෙවන අඩුම ගායන පරාසය වන අතර එය බාස් සහ ටෙනර් යන දෙකම අතිච්ඡාදනය කරයි. සාමාන්‍ය බැරිටෝන් පරාසය A2 සිට A4 දක්වා වන අතර එය F2 දක්වා හෝ C5 දක්වා විහිදේ. පිරිමි කටහඬ වඩාත් සුලභම වර්ගය වන්නේ බැරිටෝන් වර්ගයේ කටහඬයි.




10 comments:

  1. වර්තමානයේ පවතින දියුණු තාක්ෂණය, අන්තර්ජාල පහසුකම් නොතිබූ එවැනි යුගයක ඒ වගේ සංගීත වික්‍රමයක් මේ ගීතවල මුසුවී තිබීම විටෙක පුදුම සහගත කරුණක්.
    සිංහල සරල සංගීත සම්ප්‍රදායේ යුග කාරක පුරුෂයෙකු වූ සී.ටී.ප්‍රනාන්දු මහතා පිලිබදව මා දත්-නොදත් කරුණු රසට ලියා, ඔහුගේ ගීත කලාව පිලිබදව මා හට තවත් උනන්දුවක් ඇති කිරීමට මේ ලියමන අත්‍යන්තයෙන්ම උත්ප්‍රේරකයක් සැපයූවා.බොහොම ස්තුතිය සර්...😊

    ReplyDelete
  2. තරුපති මුණසිංහයෙනි, සී. ටී. පිළිබඳ ව ඔබ මෙහි මූලාශ්‍රය කරගෙන තිබෙන මා ගේ ලිපිය මා මුලින් ම ලියූවේ 2014 දී. ඒ ලිපිය කියවා මහාචාර්ය අශෝක ප්‍රේමරත්නයන් රැගෙන ගොස් 'සංස්කෘති' සඟරාවේ පළ කළා. ඉන් පසු ජයන්ත අරවින්දයන් ඒ ලිපිය කියවා මට කතා කරලා ප්‍රශංසා කළා. ඉනුත් පසු ව යි ගුවන්විදුලිය ඒ ලිපිය මූලාශ්‍රය කරගෙන වෙළෙඳ සේවයේ වැඩසටහනක් කළේ. ඒ ලිපියේ දී මා සී. ටී. ගැන කතා කළේ රසිකයකු ගේ දෘෂ්ටියෙන්. සංගීතඥයකු ගේ දෘෂ්ටියෙන් ඔහු ගැන කතා කරන්න මට සංගීත දැනුමක් තුබුණේ නැහැ. මම ඒ දවස්වල කැලණි විශ්වවිද්‍යාලයයේ ප්‍රාසංගික කලා හා ලලිත කලා අඅධ්‍යයනාංශයේ හිටපු කිහිප දෙනකුට ඒ කොටසට අත තියන්න ආරාධනා කළත් කිසිවකු ඒ වැඩේට උනන්දු වුණේ නැහැ. ඔබ අතින් මේ ලිපිය ලියැවීමත් ඊට මගේ ලිපිය මූලාශ්‍රයයක් වී තිබීමත් මට අතිශය සතුට දනවන්නක්. 2021 ජනවාරි මසට සී. ටී. උපත් සියවස යෙදෙනවා. ඒ නිමිත්තෙන් "සී. ටී. හඬ" ගී පොත් දෙක තනි පොතක් හැටියට එකතු කරලා සවිස්තර චරිතාපදානයක් සහිත ව නැවැත පළ කරන්න අදහසක් තියෙනවා. මේ ගැන මම කිව්වා ම සී. ටී. ගේ මුනුබුරාත් බොහොම සතුටු වුණා. ඔබේ සංගීත ඥානයේ ආලෝකයත් ලබන්න පුළුවන් වුණොත් ඒ පොතත් මේ ලිපිය වගේ අද්විතීය කෘතියක් වේ වි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි Ganushka Randula ඔබේ ඇගයීම පිළිබඳව. මම සඳහන් කළ යුතුයි මේ ලිපිය ලිවිම සඳහා මට හේතු පාදක වුනු කාරණය. 2001 සිට 2007 දක්වා පශ්චාද් උපාධි අධ්‍යයනය සඳහා රටින් බැහැර වීමට පෙරාතුව වසර 07ක පමණ කාලයක් මා ගුවන් විදුලියේ සංගීත අංශයේ ස්ථිර නිෂ්පාදකයෙකුව සේවයේ යෙදී සිටියා. එම කාලය තුළ ගුවන් විදුලියේ තැටි ගබඩාවේ පැරණි ගීත ශ්‍රවණය කරන අවදියේ තමයි C.T. ප්‍රනාන්දු පිළිබඳව මගේ අවධානය යාම පමණකට යොමු වුනේ. පසුගිය වසරේ මා නැවතත් ගුවන් විදුලියේ පටිගත කිරීමකට ගිය අවස්ථාවේ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් මගෙන් විමසා සිටියා ඔවුන්ගේ 'හඬ' නම් ප්‍රකාශනය සඳහා C.T. ප්‍රනාන්දු නිර්මාණවේදියාණන් පිළිබඳව ශාස්ත්‍රීය ප්‍රවේශයකින් යමක් ලියන්නට අරාධනා කළා. ඒ ආරාධනය තමයි මගේ පැරණි මතකය සමඟ මේ ලියවිල්ලට මූල බීජය වූ කාරණය. එසේම මේ ලිපිය ලියන විට අන්තර්ජාලයේ කරුණු සොයන විට Ganushka Randula යන්ගේ අධ්‍යයනය හමුවුයේ. ඔහු පමණයි මේ පිළිබඳ කිසියම් හෝ අධ්‍යයනයක් මට පෙරදී යෙදී සිටි පර්යේෂකයාණන්. ඔබට සැබවින්ම තුති එම ආරම්භය පිළිබඳව. කෙසේ හෝ මා ලිපිය ලියා භාර දුන්නත් මෙතෙක් කුමණ හෝ හේතුවක් මත එම ප්‍රකාශනය එළි දැක්වුයේ නැහැ. නමුත් 'කොවිඩ්' සිරවීමේ ප්‍රථිපලයක් විදිහට මම තීරණය කළා සංගීත නිර්මාණයක් අඳුරේ අතපත ගාමින් යමක් ලියනවාට වඩා ඒ පිලිබඳ යම් ශාස්ත්‍රීය ප්‍රවේශයක් ලබා දිය යුතුයි කියා. අනිවාර්යයෙන්ම ඉදිරියේදී ප්‍රනාන්දු නිර්මාණවේදියාණන් පිලිබඳ සිදු කෙරෙන මතක සමරුමකදී මාගේ සහාය ලබා දෙනු කැමැත්තෙමි. ස්තුතියි Osanda Gunaratne Isuru Udayanga Kariyawasamදෙදෙනාටත්.

      Delete
  3. හරිම අගනා විග්‍රහයක්. මා ද නොදන්නා කරුණු බොහොමයක් දැනගත්තා. ස්තූතියි විග්‍රහය කළ රන්දුලට හා මුහුණුපොත හරහා මෙය ශෙයා කළ අනූපම දෙදෙනාටම.

    ReplyDelete
  4. https://ayoma-jayasinghe.blogspot.com/2018/06/golden-voice-of-ct.html

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. පීටර් කැනියුට් පෙරේරාගේ ලිපිය සොරකම් කොට තමාගේ නමින් පළ කළ පුද්ගලයාට ලක්බිම පුවත්පත දැක්වූ ප්‍රතිචාරය හමුවේ එම චවුරයා විසින් පුවත්පතෙන් සමාව ගත් අයුරු
    https://m.facebook.com/story.php?story_fbid=1702914386448023&id=100001884358357

    ReplyDelete
  7. This is a good piece work and I enjoyed it

    ReplyDelete